Monday, November 2, 2009

ආදරණිය ගැමුණු මල්ලී

ආදරණිය ගැමුණු මල්ලී

ලියුම ලැබුනා මට
ඒ ගැනට ස්තුතියි
ඇගි නෝනාට වියදමට
දුන් මුදල් අම්මගේ
එකවුන්ට් එකෙන් අරගන්න්
අම්මටත් ඒක මන්
කියාලයි තියෙන්නේ

අහපු එක නම් ඇගීගේ
කෙල්ල ගැන ගෙදරට වැඩට
එච්චරම හොඳ දෙයක්
කියා මම හිතන් නෑ
අම්මාත් කිව්වා
‘ඒකි මහ ඩිඟිස්සක්
කට හැකර කෙල්ලක්’

මම ගෙදර ගිය වෙලෙත්
අම්මාව ගෙන එන්න
සිරිපාල අයියත්
කිව්වෙ ඔය ටික තමයි

ඒ කාලෙ වගේ නෑ
අපේ ගම් හරි වෙනස්
ඩුබයි සවුදි ගිය උන්
අර සිරිත් වනසලා
කොල්ලො කෙල්ලෝ අතේ
අපමණට සල්ලි දැන්
උන් කරන විකාරයි
වසංගත මෝස්තරයි
මුළු ගමම විනාසයි

ඒ කෙල්ල ඉස්කෝලෙ යනවා උනත්
දැනටමත් ඉන්නවළු කොල්ලෙකුත්
ඔය වගේ උන් ගෙනත්‍
කොළඹ සවුදම් නටයි
ඒ නිසා ඔය වැඩේ නතර වුනු එක හොඳයි


ඕන නම් වැඩට ළමයෙක්
කතාකර විජේදාසට
හොයාගන්න තේ
වත්තකින් කෙල්ලෙක්
දෙමළ උන් උනත් උන්
කරන් නෑ විසිකිත්ත
වැඩ අපේ උන් වගේ


මොකද අර දේවිකා
කිව්වාය කියන්නේ
අම්මාව ගෙනාවේ
කුමුදු ගේ බැල මෙහෙට
අත් උදව්වට කියා


කුමුදු ගේ යාළුවෙක්
බැංකුවේ කතාවක්
එවලා ‘ඊ මේල්’
මෙහෙ ටිකක් ගිණි පුපුරු
කුමුදු කලිනුත් කිව්ව
ඔය කතා හැදෙන වග
අම්මාව ගෙනාවොත්


ඔයා එපා කතාවෙන්න
දේවිකා එක්ක මේ ගැන
ඔයාගෙ පවුලෙ සමාදානේ
රකින්න ඕනෑ සේරටම පෙර


අම්මාත් දෙවෙනි නෑ
හවස් වෙන කොට ගිහින්
බණ පොතත් පෙරලගෙන
කියවනව මහ හඞින්
කුමුදුටයි ළමයින්ටයි
රුස්සන්නෙ නෑ නේ
මේ වගේ ගමේ වැඩ
ඒ නිසා මෙහෙත් ටිකක්
රත්වෙලා කතා බහ


කුමුදු ගේ නෝක්කඩු
කණ වැදී අම්මගේ
දෙතුන් පාරක් දවසකට
කොළඹ ඉස්කෝල ගැන
ඇහෙනවා ඇනුම් පද


ගෙදර අඹ පොල් පුවක්
මී හරක් වී පෙට්ටි
හොරා කනවා ඇතිලු
ගමේ උන් නිදහසේ
මටත් ඉඳ හිට හෙමින්
ව‍චනයක් දෙකක් එයි


මටත් නම් හිතෙන්නේ
අම්මාට මෙහේ වැඩ
එච්චරම හරිත් නෑ
එයාගේ වගේ අය මෙහේ
කතා කර කර ඉන්නවත්
ඒ තරමකට නෑ


ඉන්න වයසක ලංකාවෙ අය
හොඳටම මෙහෙට හැදිලා
අම්මාට අල්ලන්නෙ නෑ
ගෑණු කලිසම් අඳිනවා
ළමයි මෙන් උඩ පැන නටනවා


හිතුවාට අපි සැපයි කියලා
අම්මාට නෑනේ
හිතෙන්නේ එහේමම
ඒ ගොල්ල ගේ අදහස්
අපට හරියන්නෙ නෑ
අපේ මේ ‘ඩෙවිනිෂන්’
ඒ අයට තේරෙන්නෙ නෑ


ලකීලා ගිය මාසෙ
ලංකාවෙ ගිහිල්ලා
එයාලගෙ අම්මාව
නිවාසෙක නවතලා
‘ඩිපොසිට්’ එකක් දුන්නාම
නි‍වසෙ අය බලනවා
කිසිම කරදරයක් නැහැළු
දෙපැත්තම හිතුවාම
මටත් හිතුනා ඒක
හොඳ වැඩක් කියලා


පුංචි පරහකට තියෙන්නේ
අම්මගේ ඉඩම් වතු
වෙල් කුඹුරු ගැන තියන
අසීමිත ආසාව
එව්ව දාලානම්
යයි කියා හෝම් එකකට
මට නම් හිතෙන්නෙම නෑ


ඒත් තනියම එයා
ගෙදර ඉන්න ඇරලා
අපි‍ කොහොමද මෙහේ
සැනසුමෙන් හිඳින්නේ
හදිසියේ මොනවත් උනොත්
කව්ද අම්මව බලන්නේ


අන්තිමේ අපටමයි
රටේ මිනිස්සුන්ගෙන්
අහන්නට වෙන්නේ කතාවල්
දැන් හොඳට හිටියාට
අපේම ඔය ලඟම නෑයෝ
කතා කරන හැටි බලතෑකි
එහෙම මොකවත් උ‍නොත්


මේව ගැන එපා
කියන්නට දේවිකාට නම්
එයා ආයෙත් හිතයි
කුමුදු මට කියාලා
අම්මාව පැන්නුවැයි


අම්ම අපි දෙන්නාව
හැදුවනේ ආදරෙන්
ඒ නිසා මල්ලි අපි
බලන්නට ඕනෙ එයාවත්
ඒ උනත් ඒක අපෙ
පවුල් වල සමාදානේ
ති‍යාගෙන කරන්නත් ඕන


මේ ගැන හොඳට හිතලා
ලියා එවන්න පිලිතුරක්
පොඩ්ඩි ඉල්ලපු කතා පොත්
දෙකක් විතරයි ලැබුණෙ
ඒවාත් එවනවා
මේ ලියම එක්කලා


මතකද ඔයාට අපෙ
ක්‍රිකට් ටීම් එකෙ හිටිය
‘කනකොට’ පීරිස්
මේ ලියුම අරන් එන
උපාලී උගෙ මල්ලි
මෙහෙ ඇවිත් හරි ජයයි
මටත් හමුව‍ුණේ අහම්බෙන්
එයාගෙත් ‍‍ෆීල්ඩ් එක
ඔයා කල ඉලෙක්ට්‍රිකල්
කතා කරලා බලන්න
මටත් නම් හිතෙන්නේ
එන එක මෙහේ ඔයාටත්
ඇඟට ගුණ දෙයක්යැයි
දේවිකාටත් හොඳයි
ළමයින්ට විසේසෙන්
ඊට වැඩියෙන් මුකුත්
ඒ ගැනට ලියන් නෑ
ඔයාගේ පරණ දේශනා
ආයෙමත් නම් එපා
අයිය හැටියට හිතල
ඔය ටිකත් ලිව්වෙ මං


මේ ලියුම නම් ගෙදර
ගෙනියන්නවත් එපා
හදිසියෙන්වත් එහෙම
දැක්කොතින් දේවිකා
අපි දෙන්න ආයෙමත්
තවත් මහ අවුලකයි


නවත්තමි ලිව් නිසා දිගට සෑහෙන්න
පතාගෙන මල්ලීට සම්මා සමබුදු සරණ


දයාබර අයියා,

නිමල්