Friday, December 31, 2010

මගේම පණ පොද නාමල් මල් පෙත්තේ

මගේම පණ පොද නාමල් මල් පෙත්තේ

නපුරූම නපුරුයි ඔයා නාමල්
ඇයි අනේ ඔයා ඔය විදිහට
නපූරු කතා ලියලා
රිද්දවන්නේ අහිංසක මගේ
සුසුදු සියුමැලි හදවත....?

අපේ අම්මා
සම්බෝල හදන්න
රතුළූණු තලනවා වගේ
මිරිස් ගල උඩ
ඔයාගේ ලියුමේ
වචනයක් වචනයක් ගාන
තැලෙනවා මේ හිත අඬා වැටිලා...
ඔයාගේ කටු ඉඹුල් වචන වල
සැර ළමයෝ....
කොච්චි මිරිස් සැරටත්
වැඩියෙන් දැනෙනවා...
මගේ ඇස්වල කඳුළු උනන්නේ
කොරටුවේ ඇල ගලනවා වගේ....

මගේම චූටි සූකිරි සුදු සීනි කැටියෝ
ඔයා මොන තරම් වැරදියටද හිතා ඉන්නේ
හැඳි මිටේ දිගය කිව්වාට ගෑණු මොළ
තේ හැන්දක මිටේ දිගටවත් නෑ වගේ
ඔයාට නම් මොළේ මගෙ පැටියෝ

අර විදිහට ලියපු නිසා නේ මම
කිව්වේ ඔයාටත් කියවලා රස විඳින්න
අනේ නාමල් ඔයා හිතනවා ද මේ කෙල්ල
ඔයාගේ නොයිඳුල් ප්රේාමයට පයින් ගහලා
සල්ලි වලට ලොකු කමට යටවෙයි කියලා?

ආදරේ මගේ හද පතුලේ
නාඹර වස්සෙකුගේ පිටේ
උණු යකඩෙන් හන ගැහුවා වගේ
නාමල් කියන නම් කැකුළ ලියලා
පුච්චලා හන ගහලා
රත්තරන් කැටියෝ
පපුව පලාලා පෙන්නන්න පුළුවන් නම්
කරනවා ඒකත් මම
මේ වගේ කටු ඇනෙන
වේදනා විඳින්නේ නැතුව

අහලා බලන්න කුසුමා ගෙන්
ලියුම කියවලා අඬපු කඳුළු....!!
ඒකි ගේ ඇ‍ඳේ කොට්ටේ තෙත බරි වෙලා
ඒකිටත් ඇඬුනා මගේ ඇඬුම දැකලා

නිලුපුල් අයියා තකහනියේ
තෑග්ගකුත් අරගෙන ඇවිත්
ලිව්වාම අර‍වගේ ආදරෙන්
ආදරෙන් උත්තර ලියන එක නේද
මගෙත් යුතුකම මගෙ කොල්ලෝ
සහෝදරයෙක් වගේ ගෙනාපු තෑග්ග
නංගියෙකු ට දෙනවා හිතාගෙන
දෙන්න පුළුවනි නේ එතකොට
මගේ පැංචෝ ඇයි ඔයාට නොතේරුනේ....?

කුසුමා ගෙනුත් අහලා වචන අහගෙන
ලිව්ව නිසා තමා ඒ තරම්
හිතට වදින කිතිකැවෙන
විදිහට ලියන්න මේ කෙල්ලට
පුළුවන් උනේ ඒ ලියුම...

මගේ හිතට මෙහෙම දුක් දෙන්නෙ ඔයා
මගේ පණ පොද පුදන්න තරම්
නොකැලැල් බලගතු ආදරයක්
ඔය ළමයාට තියෙනවා කියලා
ලිව්ව නිසා ද මගෙ පැටියෝ...?

නිලුපුල් නෙමෙයි මගේම නාමල
සක්විති රජ්ජුරුවෝ ආවත්...
අර අපේ අම්මා කියනවා වගේ
අස්ස කරත්තේ නැගලා
චාල්ස් කුමාරයා ආවත් මගේ පැටියෝ
මේ හිත් කැකුළ
ඔයාගේම හදවත් පුදසුනේ
මැලවෙනවාම මිසක
වෙන කිසිම කිසිම අතක
ඇඟිල්ලකවත් ගෑවෙන්නේ රැ‍ඳෙන්නේ
නෑ මයි නෑ මයි නෑම මයි කියලා
පන්සලේ බෝ ගහේ
අත් දෙකම ගහලා
දිවුරුවා මම....
කුසුමාත් සාක්කි ‍ඔන්න...!

ඉතින් මගේම රන් රූපේ ඔයා
ලියනවා නේ ද සමාවෙන්න කියලා...
මේ හිත බිඳිලා.... ඉරි තැලිලා...
වේලිලා කට්ට වුණු
මඩ තැබ්බක් වගේ
තියෙනවා දකින්න හැම දාටම
ආසද ඔයා මගේ සූකිරි යෝ...?

අම්මාට කියලා ගැමුණු මහත්තයා
ලොකු හාමිනේට අසනීපයි කියලා
ඇමරිකාවේ ඉස්පිරිතාලේ ඉන්නවළු
වෙද හෙදකම් කරනවළු හරියට
ඔය වයසක උන්දෑ යනකොට ඔහොම
ලෙඩක් දුකක් උනොත් උඹටත් යන්න වෙයි
කියලා කිව්වා අපේ තාත්තා අම්මාට
යනකොට ඔයා ගමන හාමිනේ

කොහොම උනත් ඒකෙන් මටයි මල්ලියාටයි
තව ටික කලක් බලන්න පුළුවන් ටෙලිවිෂන්
ඉඳගෙන කුෂන් පුටු උඩ
වියන් ඇඳවල් උඩ එහෙම
බැරිවෙලාවත් එන්න කිව්වොත් අම්මටත් එහෙ
ඔයාටත් දවසක් ආවහැකි මාත් එක්ක
ජෝඩු දාලා ලඟට වෙලා බලන්න
ටීවී එකේ පිටරට ලව් කතා...
ඒ ගොල්ල කරන වැඩ නම් ඉතින්...
ලජ්ජයි කියන්නත් ටිකක්...
ආසයි ඒත් හිතුණාම
ඉන්නවා නම් ඔයත් මගේ ලඟ...

අනේ මගේ පැටියෝ මගෙම නාරං බික
සුවඳ නාමල ලියන්න ඕනෙ හනිකට
තලන්න එපා පාරන්න එපා තවත් මේ හිත
දෝරෙ ගිය කඳුළු වල තෙත තවම කම්මුලේ
සහෝදර පෙමක් කිසිම කහටක් වරදක් නැති
නිසා ඉවසුවා මිසක් මගේම පැටියෝ
අනේක වාරයක් ගියා මම
පහල ලිඳ ලඟටත්....

ඔය සුසිනිඳු සුවඳ අතින් ලියාලා
සමාවෙන්න කියන අකුරු ටික කොල කෑල්ලක
දෙන්න මගේ අතේ ඇඟිලි අග රඳවන්න
සනීප වෙන්න ආයෙත් මේ කැඩුණු හිත

අද මගේ හිත බිඳිලා කොල්ලෝ
කතිරයක් ගහන්න හාදුවක් එවන්න
සතුට බිංදුවක් නෑ නේ මගේ හිතේ
කිසිම අහු මුල්ලක මගේ කොල්ලෝ

ඉතින් කඳුළු බිඳු වැටුන
මේ ලියුම එවනවා...
හිතුවෙ නැති විදිහට

මුළු හිතෙන් මුළු ගතින් මුළු හදවතින්
ඔයාටයි මම ආදරේ කියලා
කෑලි කැපුවත් නැති නොවෙන
ආදරේ මගේ පුදකලත්
අමතක කරලා සකල ලෝකයම
ඔයාගේම නපුරුම නපුරු වචන වලට
රිදිලා තැලිලා චප්ප වෙලා ගිය
ඉකි ගගහා කෑ මොර දිදී
අඬා හැපෙන මේ සියුමැලි හිතට
පිහිටක් වෙන්න පැටියෝ මගේම නාමල්...

කඳුළු පිරි දෙනෙතින්
සුසුම් වැල් ගඟක ගිලිලා
මෙසේ ලියන්නේ
ජීවිතේ ඇති තුරා
ඔයාගේම ඔයාගේම ඔයාගේම බාලොලි මල

දම්මි

ආදර දම්මි

ආදර දම්මි

නිලුපුල්ට ඔයා ලිව්ව ලියුම
මටත් කියවලාම තැපැල් කරන්න
කිව්ව නිසා මම කියෙව්වා.
ඒක ඔයා කෙලින්ම තැපැල් කලානම් ඉවරයි දම්මි.
මොන එහෙකට මට කියවන්න කිව්වද කියල
මට හිතාගන්න බැහැ

මොකක්ද ඔයාගෙ මේ හැටි තියෙන සහෝදර ප්රේ්මෙ?
සුදු අයියේ, සුදු අයියේ, අයියගේ සුදු
කකුල් අල්ලා වඳින්නම්, සුදු අයියගෙ ලස්සණ හිත...
මොන විකාරයක්ද ඒ...?
ඔයාගෙ ඔය අපූරු සහෝදර ප්රේ මෙ දෙන්නකෝ
ඔයාගෙම මල්ලිට...
ඌට ඔයිට වඩා ඔයා ආදරේ පෙන්නනවනම්
ඌත් කියන‍ දේ අහල පාඩම් වැඩ කරන්
ගෙදර ඉඳියි, රෑ දවල් නැතුව හන්දියෙ
බයිල කිය කියා ඉන්නෙ නැතුව

මට ඇත්තටම තරහයි ඔයාගෙ
සදා ලැදි අයියට ලිව්ව ලියුම ගැන
ඔයාට එදා කෙලින්ම එයාට
කියන්න තිබුණනෙ මම ගැන
මොකද ලැජ්ජ හිතුණෙ මම දුප්පත් හින්දද?
මේ වගේ තත්වයක් කවද හරි
ඇතිවෙයිද කියල
අපේ ආශ්ර ය පටන් ගන්න කොටත්
මට නිකමට හිතුණ

මම දුප්පත් උනාට
මගේ ආදරේ දුප්පත් නැහැ දම්මි
මම ඔයාගෙනුත් බලාපොරොත්තු වුනේ
ඒ වගෙම ආදරයක්
ඒත් අර ලියුම කියෙව්වට පස්සෙ
මම හිතන පතන දේ වැරදිද කියල
මට හිතෙනව
ඒක සාධාරණ ප්රේශ්නයක් කියලයි
මට හිතෙන්නෙ...

ඔයා ඒකෙ කියල තිබුණ
නිලුපුල් දකින එකත් වාසනාවක්
ඔයා පව්කාරියක්
ඔයාගෙ කරුමයක් වෙන්න ඇති
නිලුපුල් ව හම්බ නොවුනෙ....

ඔයාම පොඩ්ඩක් හිතන්න
මම ඒව කියවල
මොනව හිතන්න ඇති ද කියල?
ඒකෙ ඔයා වෙන විදිහකින් කියන්නෙ
මම ඔයාට හමුවෙච්ච එක
ඔයාගෙ වාසනාවක් නෙවෙයි කියල
මට තේරෙන්නෙ නැහැ දම්මි
ඔයා කවුද කියල?
ඔයත් හරියට නිමල් මහත්තයගෙ
කුමුදු නෝන වගෙද කියල
මට හිතෙනව...
ඔයාටත් ආරංචි ඇතිනෙ
එයා ගැන පැතිරුණ කතාව...
නිමල් මහත්තයා ඕව ඉවසන් හිටියට
මම නම් ඒ වගේ නෙවෙයි කියල
ඔයා දැන්ම දැන ගන්න එක හොඳයි....!

අනිත් එක ඔයා මට කිව්වෙ
ගෙවල් වල වැඩ කරන්න යන්නෙ නැහැ
පනිනව වෙල ගාව මහ ලිඳට කියල
ඒ උනාට නිලුපුල්ට කියල තිබ්බෙ
කොළඹ ගැමුණු මහත්තයල දිහා ගියානම්
එයාවත් හමුවෙන්න තිබ්බ කියල
තව මොන ඉටිගෙඩියක්ද
ඔයාට කියන්න තියෙන්නෙ
ගමේදි කතාවත් නොකරපු....
නිලුපුල් ට?

මට නම් මේව අප්රකභංශ....

මගෙ ඔළුව නරක් වෙලා තියෙන්නෙ
මේව ගැන හිතල
පාඩම් කරන්න තිබ්බ උනන්දුවත්
නැහැ දැන්...
හිත එකලස් කරගෙන
පොතක් පතක් බලන්න
මට බැහැ දම්මි...

කුසුම් අතේ ඉක්මනට ලියුමක් එවන්න.

මම

සදා නොවෙනස්
(ඔයාගෙම????) නාමල්

(විපුල)

Saturday, September 4, 2010

දයාබර නිමල්

දයාබර නිමල්

මේ ලියුම කොහෙන් පටන් ගන්නද කියල
මට තේරුමක් නැහැ
කොහෙන් පටන් ගත්තත්
කොහොම ලිව්වත්
මගෙ හිතේ තියෙන
වේදනාව, පසුතැවිල්ල, කලකිරීම
විස්තර කරන්න බැහැ නිමල්

මුලින්ම නිමල්ගෙ දෙපතුල් අල්ලල
සමාව ඉල්ලනව
සමාව දෙන්න නොහැකියි මම උඹට කළ වැරැද්දට
නිමල්වගේ බෝසත් ගති තියෙන
කෙනෙකුට හැරෙන්න මේ වගේ දේකට
සමාව දෙන්න හැකි කෙනෙක් නැහැ
මට සමාවෙයන් නිමල්
අපේ යාළුකමේ නාමෙන්

මම දස දහස් වාරයක් ඇහුව මගෙන්ව
ඇයි මම ඒ වගේ වැරැද්දකට පෙලඹුනේ කියල
මම කොහොමද මගෙ හිතවත්ම, නිමල් වගේ
ගුණ යහපත් මනුස්සයෙකුට මේ විදිහෙ
ද්‍රෝහි වැඩක් කලේ කියල
නමුත් ඒකට මට පැහැදිලි උත්තරයක් නැහැ නිමල්

මාත් කුමුදුත් අපේ හැඟීම් වලට වහල් උනා
අපේ බුද්ධියට වඩා අපේ හැඟීම් බලවත් උනා
දුර්වල මොහොතක අපි පාපකාරීන් වුනා නිමල්
නිමල්ගෙ ලියුම කියෙව්වට පස්සෙ තමා
මට යථාර්තවාදීව හිතන්න පුළුවන් වුනේ
මෙච්චර දවස් මම හිටියෙ මගෙ
හැඟීම් වලට වහල් වෙලා
ඊට වඩා එහා දෙයක් හිතන්න
මට හිතක් ඔළුවක්
තිබ්බෙ නැහැ නිමල්

ඇත්තම කිව්වොත්
කුමුදුගෙ වෙනසක් තියෙනව
කියල මට තේරුණා
මම පිළිගන්නව
කුමුදු නිකම්ම ගෑණියක් නෙවෙයි
දරු සෙනෙහස දන්න අම්මෙක් බව
මම තනිකඩ නිසා
ගොඩක් ආත්මාර්ථකාමීව
හැසිරෙන්න ඇති නිමල්
ඒකයි මට හරි වැරැද්ද තේරුණේ නැත්තෙ
නිමල්ට රට යන්න ලැබුණ වෙලාවෙ
මම ඒ ගමනට තවත් උනන්දු කලේ
මගෙ යටි අදහස් ඉටු කර ගන්න වෙන්න ඕන
මට දැන් ඒ ගැන හිතනකොට
මහ විශාල කලකිරීමක් දැනෙන්නෙ

මම හිතුවෙ මගෙ සන්තෝසෙ ගැන විතරයි නිමල්
මම හිතුව කුමුදුටත් ඒ වගෙම සතුටක්
ලැබෙන්න ඇති කියල
ඒක සමහරවිට මගෙ වාසියට
මම හිතා ගන්න ඇති කියල
දැන් මට හිතෙනව
නිමල්ටත් වඩා චූටියන්ට කුමුදු ඕනෙ
ඒ අහිංසක දරුවන්ගෙ කුරුළු කූඩුවක්
කඩල මට කවදාවත් සතුටින් ඉන්න බැරිවෙයි
මේ ඔක්කොම මට හිතෙන්නෙ දැන්
නිමල්ගෙ ලියුම කියෙව්වට පස්සෙ
ඒ වෙනුවෙන් මම නිමල්ට සදහටම ණය ගැතියි
ඒ පාපයෙන් මාව මුදා ගන්න
උදව් කිරීම ගැන

නිමල් කිව්ව වගෙ මේ ගැන
මම කුමුදුට ලියන්නෙ නැහැ
තව ටිකක් හිතල
කුමුදුට කතා කරන්න තරම් ශක්තියක්
හිතට ආවම මම කෝල් කරන්නම්
ඒත් කුමුදුත් හිත හදා ගන්න
උත්සාහ කරන වෙලාවෙ
මම කතා කරන එකත්
වැරදියි වගෙ
සමහරවිට මම කතා නොකරම
ඉන්නත් පුළුවන්
කොහොමටත් මගෙ හිත
තාම අවුල් වෙලා තියෙන්නෙ
මම හැම දෙයක් ගැනම
හිතල සුදුසු දෙයක් කරන්නම්
මොනා උනත් නිමල්ලගෙ දරු පවුලට
මොන විදියකින්වත් මම අවැඩක්
තවත් නම් කරන්නෙ නැහැ කියල
දිවුරල පොරොන්දු වෙන්නම්

කුමුදු හරි වාසනාවන්තයි
නිමල් වගේ කෙනෙක් ලබාගන්න
නිමල්ගෙ දරුවන්ගෙ අම්ම වෙන්න
මට ලොකු සැනසිල්ලක්
නිමල් මේ ඔක්කොම
අමතක කරල දානව කිව්වම
නිමල් මේක මේ වගේ නැතුව
කුමුදු එක්ක ලොකු ආරවුලක් පටන් ගත්ත නම්
මගෙ හිත මට මේ වගේ
වෙනස් කරගන්නත් බැරිවෙනව
කුමුදු උනත් මගෙ කැමැත්තට
මා ලඟට එන්න හිතන්න තිබුණ
ඉතින් නිමල් බුද්ධිමත්ව හිතල
මේ වගේ මට ලිව්ව එක මම
හරියට අගය කරනව
පොඩි කාලෙ වගෙම තාමත් මට
නිමල්ගෙ මිතුරු කම ලොකු අත්වැලක්
නිමල් එදා ඉඳන් මට දුන්න අවවාද
උපදෙස් හරියට ඇහුවනම් මම අද
මීට වඩා උසස් තත්වයක ඉන්න තිබුණ
ඒ වගේ උතුම් කෙනෙකුට මම කරපු ද්‍රෝහිකමට
නිමල් මට සමාව ‍දුන්නත් මගෙ හිතෙන් මට
සමාව ලැබෙන එකක් නැහැ කවදාවත්

මම කුමුදු ගැන කාටවත් කියල නැහැ
නිමල්ගෙ පවුලට කැලලක් ඇති කරන්න
මම කවදාවත් හිතුවෙ නැහැ
මිස්ට වීරසිංහ නම් හිතවත් තමා
ඒ උණත් මම හිතුව මේ ගැන
තවත් කා එක්කවත් කතා කරන්නෙ නැහැ කියල
මම කොහොම හරි හිත හදා ගන්නම්
කාලයත් එක්ක හිතට නිදහසක්
හම්බ වෙයි කියල මම හිතනව
එතකල් මගෙ තනිකම පාළුව
වේදනාව මම විඳගන්නම්
ඒක මම කල වැරැද්දට
ලබන්න පුළුවන්
සුළු දඬුවමක් වේවි

නැවතත් නිමල්ගෙන් සමාව අයදිමින් නවතින්නම්.

නිමල්ටත් කුමුදුටත් දරු පැටවුන්ටත් තෙරුවන් සරණයි

රුක්ෂාන්

(විපුල)

Sunday, May 30, 2010

සදා ලැදි නිලුපුල් අයියේ

සදා ලැදි නිලුපුල් අයියේ

අනේ අයියේ හීනෙකින්වත් මේ පවුකාර කෙල්ල ගැන
අහිතක් හිතන්න එපායි කියලා දෙපා වැඳලා කියන්නම්
අයියා මට ආදරෙන් හිටි නිසා මමත් ආදරෙන් හිටියාට
ඒක ඒ වගේ ආදරයක්ය කියලා මට වැටහුනේ නැහැ
තාමත් මම අයියාට එදා ලෙසින්ම ආදරෙයි
නියම සොයුරු ප්‍රේමය අයියේ
ලාමක හිතක පීදෙන සරුව පිත්තල ආලයක් නොවෙයි
මගේ හිතේ අයියා ගැන අදටත් තියෙන්නේ

එදා අයියා මුණ ගැහුනාම ලජ්ජා හිතුනේ
නාමල් ගැන කියනවාද නැද්ද කියලා
හිතා ගන්නට බැරිව මිසක්
අයියා දකින්න කතා කරන්න
අකමැතිවාට නොවෙයි
මේ දම්මි නංගී අයියේ
ඔය සුදු අයියා
දකින එකත් වාසනාවක් කියලා
හැමදාම හිතනවා

අයියගේ ලියුම මට නාමල් ට පෙන්නන්න
සිද්ධ වුනා අයියේ කමන්න මට ඒ ගැන
නාමල්ට මම ආදරෙයි අයියේ
ඒක මගේ ජීවිතේ පවා
පුදන්න තරම් බලගතු
ආදරයක් අයියේ

අයියලාගේ අම්මා
තාත්තලා ඒ දවස් වල
වරදවා තේරුම් අරගෙන
මට අඩම් තේට්ටම් කලත්
මේ දම්මි කොහොමටවත්
හිතුවේ නැහැ අයියේ
අයියගේ හිතෙත් නොකැලැල් ප්‍රේමයක්
මා වෙනුවෙන් ජනිත වෙලා ඇති කියාලා
සමහරවිට අයියේ මගේ
කරුමයක් වෙන්න ඇති
අපේ අම්මත් හුඟක්
වෙලාවට මට බනින්නේ
මෝඩ හරකී
කරුමක්කාර කමට
අතට එන වාසනාවත්
එලිපත්තට
විසිකරනවා කියලා

හුඟක්ම ඔය කතා කිව්වේ
කොළඹ ගැමුණු මහත්තයාලගේ
ගෙදර වැඩට යන්න ලැබුණ එක ගැන
සමහරවිට අයියේ
මම ගියානම් ඒකට
අයියා වත් මුණ ගැහෙන්න
තිබුණා නේද ඉඳහිට
ගමේදි කතා බහ කරන්න
නොලැබුණාට අයියාත් එක්ක
පිට තැනක හමුවුණොත්
නිදහසේ කතා කරන්න
පුළුවන් වේවි නේද

ඉතින් මගෙම සුදු අයියේ
මේ නංගි ගැන හිත මතුවුන
දයාව කරුණාව හැමදාම
රඳවා ගන්න ආදරෙන් අයියේ
අයියා ‍වගේ කෙනෙකුගේ
ලස්සණ හදවතකට
උරුම කියන්නට තරම්
සංසාර පින් මහිමයක්
මේ මෝඩ කෙල්ලට නැතිවුණා අයියේ
ඒ ගැන සමාවී
ජී‍විතේ තියෙනා තුරා
ආදරෙන් මේ දම්මි නංගීව
නංගියෙක් වගේ හිතට
තුරුළු කර ගන්න අයියේ

නැවත නැවතත් ඔය සුදු
දෙපා වැඳ සෝ දුකින් හඬා
සමාව ඉල්ලන්නේ

සසරේ නංගියෙක් වෙන්න
පතාගෙන ආ නංගියා

දම්මි

හිතවත් රුක්ෂාන්

හිතවත් රුක්ෂාන්

හොඳට හෝ නරකට රුක්ෂාන්
ඔයා කුමුදුට එව්ව ලියුම
ලැබුණෙ මගෙ අතට
උත්තර පමා උනේ ඒකයි
ඊට හරි යන්න මම ටිකක්
දිගට ලියන්නම් රුක්ෂාන්
ඔයා කරුණාකරල
හදිසි තීරණ ගන්නෙ නැතිව
මුළු ලියුමම කියවන්න
වෙන මුකුත් නිසා නෙවි
අපි අතර තියෙන යාළුකම
සලකලා බලලා

විශ්වාස කරන්න බැරි වුනත්
වෙන්න බැරි දේකුත් නෙවි නිසා
මම හිතුව මේ කතාව
අපි දෙන්න බේර ගන්න එක
හොඳයි කියල කොහොමටත්
කියන එක කුමුදුට මේ ගැන
අහන එක එයාගෙන් මේ ගැන
තේරුමක් ඇති දෙයක් කියල
මම හිතන්නෙ නැහැ රුක්ෂාන්

ඔයා දන්න‍වනෙ මම
හදිසි කාරයෙක් නෙවෙන විත්තිය
අපි හුඟක් ලඟින් මිත්‍රකමට
හිටපු නිසා තමයි මටත් මේ තරමට
කලබල නොවී මේ ගැන
හිතන්නට පුළුවන්

අනික් අතට රුක්ෂාන් ඔයාට
වඩා හොඳින් මම දන්නව
කුමුදු හිතන පතන විදිහ
කුමුදුගෙ අම්මල තාත්තල
යම් දුරකට සංකර
නැත්නම් බටහිර පන්නෙ අය
කාලෙකට ඉස්සර ක්ලබ් එකේ
ඩාන්ස් කරල නෝනල මහත්තුරු
මාරු කරගෙන ගෙදර ගිය
ප්ලාන්ටර්ස්ලගෙ
පරපුරේ අය

කුමුදු හුඟක් වෙනස් උනත්
මම හිතන්නෙ මේ වගේ දේකට
පැටලුනේ එයාගෙ අර පසුබිම
නිසා වෙන්න ඕනි කියලයි
වැරදි වෙන්න පුළුවන් මම
සමහරවිට කුමුදුට ඔයාව
ඕනෙම වෙන්නත් ඇති
ඒත් මම හිතනව අපේ හිත්
හුඟක් දුරට හැඩ ගැහෙන්නෙ
ගෙවල් වලින් අපට ලැබෙන
ගති සිරිත් මතය කියල
එහෙම හිතුවාම රුක්ෂාන් මට
යම් විදිහකට මේ ‍වැඩේ
තේරුමක් දකින්නට පුළුවන්

සුලමුල නොදන්නවා උනත්
මට හිතා ගන්න පුළුවන්
වුනේ මොනවද කියල
හිතට දැනෙන අමුත්තක්
එදා නොපෙනුනත් මට
අද හිතන්නට පුළුවනි
හුඟක් දේවල් ඒ ඒ විදිහට
සිදු වුනේ ඇයි කියල
විශේෂයෙන් මට මෙහෙ එන්න
චාන්ස් එක ලැබුණහම
ඔයා ඒක ගැන කියපු
දේවලුත් හිතුවාම

රුක්ෂාන් ඔයා
ලියල තියෙන දේවලින්
මට හිතෙන්නේ කුමුදු දැන්
එයාගෙ හිත හදාගෙන කියල
ඔයා එක්ක තියෙන
සම්බන්දෙ නවතන්න

දවස් කීපයක් මම
හුඟක් විමසිල්ලෙන් හිටිය
මට හිතෙන්නෙ නැහැ රුක්ෂාන්
කුමුදු මම දාල ගියත්
චූටි අය දාල
එයාගෙ සතුට විතරක්
හොයයි කියල

රුක්ෂාන් ඔයාට තේරුම් ගන්න
අමාරු ඇති සමහරවිට
ගෑණියෙකුගෙයි අම්ම කෙනෙකුගෙයි
මොනතරම් වෙනසක් තියෙනවද
සමහර අය දරුවො ලැබුණත්
ඉන්නෙ හැමදාම ගෑණු වගේ
එහෙම අයට නම් මේ වගේ
සම්බන්ධකම් මහ දේවල් නෙවි

ඒත් කුමුදු අම්ම කෙනෙක් රුක්ෂාන්
එයා චූටියන් ගැන මිසක්
එයා ගැනවත් හිතන්නෙ නැති තරම්
ඉස්සර වගේ ඇඳුම් පැලඳුම්
සෙන්ට් පවුඩර් ගැන
කතා බහ දැන් නැති තරම්
වෙලාවකට හිතුවාම
ඒ දවස්වල ෂෝක් එක දාගෙන
ඔෆිස් ආපු කුමුදුද
හිතෙන තරමට එයාගෙ වැඩ වෙනස්

රුක්ෂාන් සමහරවිට කුමුදු
හිතලාම එයා ගැන අමතක
කරනවද කියාලත්
හිතෙනවා මට
මේ වැඩේ ගැන හිත් අමාරුවෙන්

මේ සේරම හිතල රුක්ෂාන්
මම හිතුවා ඔයාගෙන් ඉල්ලන්න
මේ ‍වැඩේ නවත්තලා දාන්න

නෑ රුක්ෂාන් මම කවදාවත්
කුමුදුට කිසිම විදිහකින්
කරන්නෙ නෑ වෙනසක්
ඒකම නිසා තමයි මම
මේ ගැන එයාගෙන් කිසිම දෙයක්
ඇහැව්වෙත් නැත්තෙ
මොකද එයා දැන ගත්තොත්
‍මම මේ ගැන දන්න බව
මම හිතන් නැහැ එයාට
පුළුවන් කියල එයාගෙ
හිත හදාගන්න කවදාවත්
මොන පසුබිමකින් ආවත් රුක්ෂාන්
කුමුදු කාටවත් හිතට දුකක්
දෙන්න කැමති කෙනෙක් නෙවෙයි
මම හිතන්නේ එයාගේ ඒ ගතිය
නිසාම තමයි මේ වගේ දේකට
සම්බන්ධ වෙන්නත් ඇත්තේ

මම හිතනවා රුක්ෂාන්
ඔයාට මේ කතාව මෙතනින්
නවත්තන්න පුළුවන් වේවි
යාළුවෙක් හැටියටත්
කුමුදුගෙත් චූටියන්ගෙත්
අනාගතේ ගැන හිතලා
ඔයා ඒ වැඩේ කරයි කියලා
හිතනවා මම

මුලින්ම මට මහ වේදනාවක්
දැනුනත් රුක්ෂාන් අද මේ මොහොතේ
මම ඉන්නෙ හුඟක් දේවල් දිහා
උපේක්ෂාවෙන් බලන්න පුළුවන් තත්ත්වයක

අපේ අම්මා හැමදාම හවසට
බණ පොත් පිරිත් පොත් කියවනවා
කලින් නම් ඒක මහ කරච්චලයක්
ඒත් පහුගිය දවස් කීපය මම
ඒ හැම සූත්‍රයකටම ගාතාවකටම
උවමනාවෙන් කන් දීගෙන හිටියා
හුඟක් එව්වාගෙ තේරුම් පැහැදිලිව
මතකයි මට තවම

රුක්ෂාන් ඔයා හිතල බලන්න
තව අවුරුදු විස්සකින් විතර
අපි මොන තත්ත්වයේ ඉඳීවිද
මේ හිත් කලබල වෙන ‍වැඩ
කොළු කාලෙ වැඩ
දැනටමත් අපට
නොගැලපෙන දේවල් නේද

ඔයා තවම බැඳල නැති නිසා
සමහරවිට මේ දේවල් ගැන
තාම සුළුවට හිතනවා
වෙන්න පුළුවන් උනත්
මට එහෙම හිතන්න බැහැ

ඉතින් රුක්ෂාන් ඔයා
මේ ලියුමට මට යමක්
ලියනවා නම් එවන්න
ඔෆිස් ඇඩ්රස් එකට
කුමුදු එක්ක ඔයාට
කතා කරල බේරගන්න ඕනි නම්
කෝල් කරන්න ගෙදරට
සතියෙ දවසක
මෙහෙ දවල් වරුවක
මම කැමතියි ඔයා රුක්ෂාන්
නොලියනවා නම්
ලියුම් කුමුදුට...
යමක් ලිව්වාම ඒක
වැරදි අතකට ගියොත්
ඕන නැති ප්‍රශ්න

රුක්ෂාන් එක අතකින් මට
දැනුනත් මා ගැන
අවාසනාවන්තයෙක් කියලා
ලංකාවෙදි වගේ
ගහ බැණ ගන්නෙ නැතුව
මේ විදිහට ඔයාට ලියන්න
පුළුවන් වීම සතුටක් මට
මම හිතන්නේ අපේ
අම්ම තාත්තා උනත් මේ වගේ
දේකදි කලබල නොවී
මේ විදිහටම වැඩ කරන අය
ඒ ගතිගුණ නිසා තමයි
මටත් මේ වගේ කල්පනාවෙන්
වැඩ කරන්නට පුළුවන්

මම හිතනවා ඔයා
ඔෆිස් එකේ අනෙක් අයට මේ ගැන
මුකුත් කියලා නැතිය කියලා
ඔයාට කතා කරන්නම
ඕනෙ නම් කා එක්ක හරි
මිස්ට ජයසේකර එක්ක
කතා කරන්න මේ ගැන
විශ්වාසයි ජයේ මට

ඉතින් මම නවතින්නම්

හිතවත්

නිමල්

Dearest Kumudu

Dearest Kumudu

What can I do?
I can't meet you or even call you.
This is the only way I can remain sane
So I write to you again.

අපි දෙන්නම මුල ඉඳන්ම දන්නව මේක
නිමාවක් නැති අපැහැදිලි ගමනක් කියල
නමුත් හැම මොහොතකම
මට මතක් වෙන්නෙ ඔයාගෙ උණුසුම
මට ඒ උණුසුම හැමදාම මගෙම කර ගන්නයි ඕනෙ
ඒ නිසා මම මේ ගමනෙදි
මං මුලා උනත් කමක් නැහැ කුමුදු

Same way, you know I love you too
But when WE choose THIS path
I thought it's OUR path
I can't find or think of any other path in my life.
The only path my heart knows is
the path WE both choose that
one dark night which changed my life forever.

මාත් හොඳටම දන්නව කුමුදු
අපි කරන්නෙ ලොකු වැරැද්දක් කියල
මට පන්සිල් ගන්න උන වෙලාවකදි
තුන්වෙනි පදේ මම නොකියම ඉන්නව දැන්
හිතට එකඟව මට ඒක බොරුවට
මුමුණන්නවත් බැහැ

අන්තිම දවසෙ අපි හමුවුනාට පස්සෙ
මගෙ බැනියමේ රැඳුන ඔයාගෙ සුවඳ
තාමත් යන්තම් මට දැනෙනව
සමහර විට ඒක මගෙ හිතේ ඇඳුන
සුවඳක් වෙන්නත් ඇති
මට ඕන ආයෙත්
ඒ සුවදේ එතිල ඔයත් එක්ක තනි වෙන්න
මේ මුළු ලෝකෙම අමතක කරල

මම දන්නව ඔයා ඉන්නෙ ගිනි ගොඩක බව
ඒත් අපි මුණ ගැහිල විඳින
සැපත තාවකාලික උනත්
මම ඒකෙන් ලබන සැනසිල්ල
තාම මගෙ මේ පාළු ජීවිතේ
තියෙන එකම සැනසීම
එයින් එහා කිසි දෙයක් ගැන හිතන්න
මගෙ හිතේ ඉඩක් නැහැ කුමුදු

ඔයාට චූටියන්, නිමල් නැතුව
ඉන්න බැහැ වගෙම
මටත් ඔයාගෙන් තොර
ලෝකයක් නැහැ කුමුදු
ඒකයි මම කියන්නෙ ඔයාට
මගෙ ලඟට එන්න කියල

Some times I also feel sorry for Nimal.
How could he be so naive?
I feel guilty to do this to (once) my dearest friend
I never looked at his face straight
since our first date that fateful night.
I always wonder how come he didn't noticed
Any change. Anything at all. I guess it's our luck.

Oh my darling Kumudu,
I am not making you to suffer
for OUR happiness
If there is a way that only I can suffer for our happiness
I will do anything
or give up anything for it
Including my life.

I'm yours forever.
I am waiting to say "you are mine forever".

Rukii


(විපුල)

Saturday, May 29, 2010

Dearest Rukshan

Dearest Rukshan

You should not have written those things to me
ඇයි ඔයා තාමත් හිතන්නෙ ඔය විදිහට
ඇයි ඔයා මගෙ හිත කඩන්නෙ රුකී
කවදාවත් මට කරන්න පුළුවන් දෙයක්ද?

I know I love you and you know it
but I have to go along the path I chose rukii
you have to find your path in life
why make me suffer like this

නිමල්ගෙ අම්ම හැමදාම
කියවනව බණ පොත හවසට
ඇහෙන කොට සමහර දේවල්
මගෙ හිත මැරෙණව රුකී
මොන තරම් පව්කාරියක්ද මම

so do not write to me again like that
dear rukii I do not want to loose you
ඔයා දන්නෙ නෑ රුකී
මම මොන තරම්
ගිනි ගොඩකද ඉන්නෙ කියල
අන්තිම ද‍වසෙ අපි
හම්බ වුණු වෙලේ
ඔයා ඇහුව "will you miss me?"
I said "I am missing myself"
I meant it rukii, still I am

ඒ වුනත් අපිට බැහැ නේද
වෙනස් කරන්න වෙච්චි දේවල්
හිතුනට හිතුවිලි හිත් ඇතුලෙ
මම කොහොමද හිතන්න
චූටියන්, නිමල් නැති තැනක්
ගැන හිතන්නෙ?

නිමල් ඇමරිකා එන්න ලේස්ති
උනාම මම හිතුව
this is my chance to turn the page
this is going to be a new chapter
but after reading your letter rukii
මම දන්නෙ නෑ රුකී
මම දන්නෙ නෑ කිසීම දෙයක්....

so do not write to me those things again rukii
may be we should stop writing for a while
නිමල් නම් කිසිම සැකයක් නැහැ
මම එයාට මලක් වගෙ
he is soo soft rukii
some times I die in my heart
thinking about this

I can not write more rukii
please please do not make
me suffer for all the happiness
you gave me

dearest

Kumudu