Friday, December 31, 2010

මගේම පණ පොද නාමල් මල් පෙත්තේ

මගේම පණ පොද නාමල් මල් පෙත්තේ

නපුරූම නපුරුයි ඔයා නාමල්
ඇයි අනේ ඔයා ඔය විදිහට
නපූරු කතා ලියලා
රිද්දවන්නේ අහිංසක මගේ
සුසුදු සියුමැලි හදවත....?

අපේ අම්මා
සම්බෝල හදන්න
රතුළූණු තලනවා වගේ
මිරිස් ගල උඩ
ඔයාගේ ලියුමේ
වචනයක් වචනයක් ගාන
තැලෙනවා මේ හිත අඬා වැටිලා...
ඔයාගේ කටු ඉඹුල් වචන වල
සැර ළමයෝ....
කොච්චි මිරිස් සැරටත්
වැඩියෙන් දැනෙනවා...
මගේ ඇස්වල කඳුළු උනන්නේ
කොරටුවේ ඇල ගලනවා වගේ....

මගේම චූටි සූකිරි සුදු සීනි කැටියෝ
ඔයා මොන තරම් වැරදියටද හිතා ඉන්නේ
හැඳි මිටේ දිගය කිව්වාට ගෑණු මොළ
තේ හැන්දක මිටේ දිගටවත් නෑ වගේ
ඔයාට නම් මොළේ මගෙ පැටියෝ

අර විදිහට ලියපු නිසා නේ මම
කිව්වේ ඔයාටත් කියවලා රස විඳින්න
අනේ නාමල් ඔයා හිතනවා ද මේ කෙල්ල
ඔයාගේ නොයිඳුල් ප්රේාමයට පයින් ගහලා
සල්ලි වලට ලොකු කමට යටවෙයි කියලා?

ආදරේ මගේ හද පතුලේ
නාඹර වස්සෙකුගේ පිටේ
උණු යකඩෙන් හන ගැහුවා වගේ
නාමල් කියන නම් කැකුළ ලියලා
පුච්චලා හන ගහලා
රත්තරන් කැටියෝ
පපුව පලාලා පෙන්නන්න පුළුවන් නම්
කරනවා ඒකත් මම
මේ වගේ කටු ඇනෙන
වේදනා විඳින්නේ නැතුව

අහලා බලන්න කුසුමා ගෙන්
ලියුම කියවලා අඬපු කඳුළු....!!
ඒකි ගේ ඇ‍ඳේ කොට්ටේ තෙත බරි වෙලා
ඒකිටත් ඇඬුනා මගේ ඇඬුම දැකලා

නිලුපුල් අයියා තකහනියේ
තෑග්ගකුත් අරගෙන ඇවිත්
ලිව්වාම අර‍වගේ ආදරෙන්
ආදරෙන් උත්තර ලියන එක නේද
මගෙත් යුතුකම මගෙ කොල්ලෝ
සහෝදරයෙක් වගේ ගෙනාපු තෑග්ග
නංගියෙකු ට දෙනවා හිතාගෙන
දෙන්න පුළුවනි නේ එතකොට
මගේ පැංචෝ ඇයි ඔයාට නොතේරුනේ....?

කුසුමා ගෙනුත් අහලා වචන අහගෙන
ලිව්ව නිසා තමා ඒ තරම්
හිතට වදින කිතිකැවෙන
විදිහට ලියන්න මේ කෙල්ලට
පුළුවන් උනේ ඒ ලියුම...

මගේ හිතට මෙහෙම දුක් දෙන්නෙ ඔයා
මගේ පණ පොද පුදන්න තරම්
නොකැලැල් බලගතු ආදරයක්
ඔය ළමයාට තියෙනවා කියලා
ලිව්ව නිසා ද මගෙ පැටියෝ...?

නිලුපුල් නෙමෙයි මගේම නාමල
සක්විති රජ්ජුරුවෝ ආවත්...
අර අපේ අම්මා කියනවා වගේ
අස්ස කරත්තේ නැගලා
චාල්ස් කුමාරයා ආවත් මගේ පැටියෝ
මේ හිත් කැකුළ
ඔයාගේම හදවත් පුදසුනේ
මැලවෙනවාම මිසක
වෙන කිසිම කිසිම අතක
ඇඟිල්ලකවත් ගෑවෙන්නේ රැ‍ඳෙන්නේ
නෑ මයි නෑ මයි නෑම මයි කියලා
පන්සලේ බෝ ගහේ
අත් දෙකම ගහලා
දිවුරුවා මම....
කුසුමාත් සාක්කි ‍ඔන්න...!

ඉතින් මගේම රන් රූපේ ඔයා
ලියනවා නේ ද සමාවෙන්න කියලා...
මේ හිත බිඳිලා.... ඉරි තැලිලා...
වේලිලා කට්ට වුණු
මඩ තැබ්බක් වගේ
තියෙනවා දකින්න හැම දාටම
ආසද ඔයා මගේ සූකිරි යෝ...?

අම්මාට කියලා ගැමුණු මහත්තයා
ලොකු හාමිනේට අසනීපයි කියලා
ඇමරිකාවේ ඉස්පිරිතාලේ ඉන්නවළු
වෙද හෙදකම් කරනවළු හරියට
ඔය වයසක උන්දෑ යනකොට ඔහොම
ලෙඩක් දුකක් උනොත් උඹටත් යන්න වෙයි
කියලා කිව්වා අපේ තාත්තා අම්මාට
යනකොට ඔයා ගමන හාමිනේ

කොහොම උනත් ඒකෙන් මටයි මල්ලියාටයි
තව ටික කලක් බලන්න පුළුවන් ටෙලිවිෂන්
ඉඳගෙන කුෂන් පුටු උඩ
වියන් ඇඳවල් උඩ එහෙම
බැරිවෙලාවත් එන්න කිව්වොත් අම්මටත් එහෙ
ඔයාටත් දවසක් ආවහැකි මාත් එක්ක
ජෝඩු දාලා ලඟට වෙලා බලන්න
ටීවී එකේ පිටරට ලව් කතා...
ඒ ගොල්ල කරන වැඩ නම් ඉතින්...
ලජ්ජයි කියන්නත් ටිකක්...
ආසයි ඒත් හිතුණාම
ඉන්නවා නම් ඔයත් මගේ ලඟ...

අනේ මගේ පැටියෝ මගෙම නාරං බික
සුවඳ නාමල ලියන්න ඕනෙ හනිකට
තලන්න එපා පාරන්න එපා තවත් මේ හිත
දෝරෙ ගිය කඳුළු වල තෙත තවම කම්මුලේ
සහෝදර පෙමක් කිසිම කහටක් වරදක් නැති
නිසා ඉවසුවා මිසක් මගේම පැටියෝ
අනේක වාරයක් ගියා මම
පහල ලිඳ ලඟටත්....

ඔය සුසිනිඳු සුවඳ අතින් ලියාලා
සමාවෙන්න කියන අකුරු ටික කොල කෑල්ලක
දෙන්න මගේ අතේ ඇඟිලි අග රඳවන්න
සනීප වෙන්න ආයෙත් මේ කැඩුණු හිත

අද මගේ හිත බිඳිලා කොල්ලෝ
කතිරයක් ගහන්න හාදුවක් එවන්න
සතුට බිංදුවක් නෑ නේ මගේ හිතේ
කිසිම අහු මුල්ලක මගේ කොල්ලෝ

ඉතින් කඳුළු බිඳු වැටුන
මේ ලියුම එවනවා...
හිතුවෙ නැති විදිහට

මුළු හිතෙන් මුළු ගතින් මුළු හදවතින්
ඔයාටයි මම ආදරේ කියලා
කෑලි කැපුවත් නැති නොවෙන
ආදරේ මගේ පුදකලත්
අමතක කරලා සකල ලෝකයම
ඔයාගේම නපුරුම නපුරු වචන වලට
රිදිලා තැලිලා චප්ප වෙලා ගිය
ඉකි ගගහා කෑ මොර දිදී
අඬා හැපෙන මේ සියුමැලි හිතට
පිහිටක් වෙන්න පැටියෝ මගේම නාමල්...

කඳුළු පිරි දෙනෙතින්
සුසුම් වැල් ගඟක ගිලිලා
මෙසේ ලියන්නේ
ජීවිතේ ඇති තුරා
ඔයාගේම ඔයාගේම ඔයාගේම බාලොලි මල

දම්මි

No comments:

Post a Comment