Monday, October 19, 2009

ඇගි නෝනා වෙතටයි

මෙහේ ආදාම මං
එවු ලියුම් කරදහිය
ලැබෙන්නැති මට තවම
පිලිතුරක් ලැබුණෙ නෑ
පොඩි පුතා කොළඹ හිට
කතාකර කියාලා
ලොකු පුතා කිව්වා මට
උඹ හොඳින් ඇත කියා
ඒ උනත් ඇගි නෝනෙ
පරක්කුව ලැබුනාම
ලියාපන් පද ටිකක්
මටත් මෙහෙ කියවන්න.

මෙහේ මහ අමුතු වැඩ
කුස්සි කොළඹට එහා
මිරිස් තුන පහක් නෑ
අඹරන්න ගලක් නෑ
බෝතලේ හලනවා
සෝස් වක් කරනවා
පොල් බිඳක් දැක්කෙ නෑ
හිරමනේ වගක් නෑ
මිටි කිරක් දිය කිරක්
වෙන් කරන සිරිත් නෑ
ටින් එකෙන් හැම කිරක්
නැතිම නම් කුඩු පැකට්
ඔය තමයි මේ රටේ
හොදි හදන අපූරුව

පිටි හලන පිටි කොටන
හැටි මුකුත් මතක නෑ
ඇමරිකන් පිටි තමයි
ගුල්ලො නම් දැක්කෙ නෑ

පුංචි මුණුපුරාගේ පන්තියට මම ගියා
ළමයි එක එක හැඩයි පාටවල් අපූරුයි
සමහරුන් සුදුම සුදු කඳන් පණුවන් වගේ
කළු අයත් ඉන්නවා ගල් අඟුරු පරාදයි
ඒ උනත්‍ පොඩි පැටව් කාගෙමුත් දරුවො නොවැ
එහෙම හිතුවාම නම් සේරමත් එක වගේ

දනියෙල්ට මේ සැරෙත් පහල වෙල අත්තමට
දෙන්න වචනය දුන්න
ඒ පැත්තෙ ඇවිදලා හොයල බලපන් ටිකක්
දනිය නම් හොඳ එකා ඒත් උගෙ ලොකු කොළූ
ටිකක් ගානට වැඩියි කතා බහ මහ වසයි
ගිය සැරේ කමතෙදිත් ලෝ එකෙන් මයි හිටියෙ

පුතාටත් මම කියල
ලියමනක් එවන්නම්
බණ්ඩ සාජන්ටම ලියල
කොස් ටිකක් පැණි දාල
ගෙනියපන් එහෙ යද්දි
ඒ නෝන හරි ආස
කෑමක් නෙ පැණි කොස්

වත්ත හෙම බලාපන්
හොරු කඩයි පුවක් අඹ
දෙවට ලඟ අඹ පැලේ
බලා ගන්නම ඕන
ජානිස්ගෙ කෙල්ලො හෙම
ආවොතින් කට ගහන්
දෙකක් කියපන් හොඳින්
අතට පොල්ලක් අරන්
නැතුව උන් බය නෑනෙ
උඹට බැණ අඬ ගහයි

නිවාපන් ලයිටි හෙම
හුඟක් රෑ වෙන්ඩ පෙර
මේ ලියුම කියෝපන්
උදේකට ඉර එළියෙ
ඇස් නරක් වෙයි උඹෙත්
ලයිට් එළියෙන් මගේ
අත් අකුරු කියවලා
දැන් ලයිට් හරි ගණන්
මටත් අත මිට හිඟයි
පොඩි පුතා ආවාම
උඹට වියදමට දෙයි

ඉක්මනින් එනව මං
වැඩි කලක් ඉන්න බෑ
මේ රටේ ජීවිතේ
අපට අල්ලන්නෙ නෑ
ඒ උණත් ලොකු පුතා
සතුටෙනුයි දැන් ඉන්නෙ
අම්ම ඇවිදින් කියා
හැමෝටම කියනවා

ලේලි නරකමත් නෑ
කොහොමටත් එහෙමයිනෙ
ඕව ඇවිදින් කියමු
නොලිව්වට ලියමනේ

ඇගි නෝනෙ ආයෙමත්
ලියන කන් නවත්තමි
පුංචි හාමිනේවත්
මතක් කෙරුවයි කියන්
ඒපැත්තෙ උඹ ගියොත්
වැඩිවෙලා ලත නොවී
පණිවිඩය කියාලා
ඉක්මනින් ආපහු වරෙන්
ඉඳින් මගෙ ගේ බලන්

මීට
ලොකු හාමිනේ

No comments:

Post a Comment