Thursday, October 22, 2009

ගෞරවනීය ලොකු හාමිනේ වෙතයි

හාමිනේ මට එවපු ලියුම ලැබිලා දැනට
මාසයක් හමාරක් ගෙවිලත් ඉවර ඇති
ඒ උනත් අදයි මට
අතට ඉවරයක් ලැබුණෙ
නිවාඩුව පාඩුවේ
උත්තරේ ලියන්නට
මගේ මේ පම‍ාවට
සමාවෙන්නැයි කියා
හාමිනේගේ දෙපා
නැමැද මම ලියනවා

ඉතින් ලොකු හාමිනේ
අපූරුයි විස්තරේ
ලස්සණයි මුද්දරෙත්
බොහොමටම ස්තුතියි
කියවලා බැළුවාම
මටත් එන්නට හිතයි
දැකගන්න ජීවිතේ
ඔය රටේ උදවියගෙ
සේරමත් හරි නෝනො
උයනවයි කියන හැටි
තමා අදහන්න බැරි
අනේ ඇත්තට නෝනො
කෑ හැකිද ඔය කෑම....?

මට මෙහේ බයේ බැහැ
හාමි‍ෙන් ලෙඩ වෙයිද ඔය
අනන් මනන් ජාති
කාල බීලා කියල
අපේ එක්කෙනාටත්
සැකයි මේ ගැන අහල
අනේ මගෙ හාමිනේ
නොකීවට දන්නවනෙ
සෙම ඇවිස්සෙන ජාති...?
ඒ ‍වගෙම පැණි රහත්
නොකන තරමට හොඳයි
ඔහෙදි ලෙඩ උනොත් හෙම
මම නැහැනෙ ලඟකවත්
ඒ නිසා පරෙස්සම්
වෙන්ඩ මගෙ හාමිනේ

නෝන බය වෙන්නෙපා
පහල වෙල වැඩේ ගැන
දැනටමත් දනියෙලා
හතර පස් සැරයක්ම
මෙහෙ ඇවිත් මා එක්ක
පොරොන්දුවෙ හැටියටම
අත්තමට කරන වග
දිවුරලයි තියෙන්නේ
ලොකු කොළූ මොක උනත්
දනියෙලා හොඳ එකා
වලව්වට ලෙන්ගතුයි
මගෙ බහට කීකරුයි
එදා වාගෙම තවම

හාමිනේ කිව්ව ‍වගෙ
කොස් ටිකක් පැණි දමන්
ගියා මම බණ්ඩ සාජන්
මහතුන්ගෙ ගෙදරටත්
හොඳ වෙලාවට මමත්
ඒක අරගෙන ගියේ
මොකද ඒ නෝනටත්
හොඳට දොල දුක් ගාය
අපරාදෙ කියන්න බෑ
සිරියාව වැගිරෙනව
අනේ වාසනාවන්

සියක් වර පින් දුන්න
පැණි කොස්ම ගෙනිච්චට
කන්න හරි ආසාව
තිබිල තියෙනව හිතේ
හාල් මැස්සොයි බටුයි
තෙල් දාල මිරිසකට
පෙ‍ාලොස් ඇඹුලකුයි පොල්
සම්බෝලෙකුයි එක්ක
බත් කන්න ආසයිලු
කියනවා හොරෙන් වගෙ
ලඟකදිම බත් මුලක්
හදාගෙන ආයෙමත්
එහෙ යන්න හිතනවා
හාමිනේ හිටියනං
කරන වැඩ නේ ඕව

හපෝ හප්පච්චියේ
ජානිස්ගෙ කෙල්ලො නම්
මාර දූවරු තමයි
හනස්සක් ඇට්ටියක්
වැටෙන සද්දක් ඇද්ද
තුන් දෙනා එතන ඇති
මමත් නම් ඇරියෙ නෑ
ඔරවලා ගොරවලා සද්දයක් දැම්මාම
උස්සලා පස්සවල් ගස්සලා දුවනහැටි
බලන්නම වටිනවා
පොඩි බඩ්ඩ තමා වැඩි
පොත්තෙ රත වාගෙමයි
කට ඩිංග ඇරියමත්
කොච්චි කරලට එහා
ඒකටම ගැලපෙන්ඩ
නමින් නම් සවුම්යා
අනේ මගෙ කට මෙ‍ාටද
හැබැයි හරි හැඩකාරි
කොරටුවේ ගෙදර අර
නාමලුත් ඒ කාලෙ
බල බලා උන්නලුනෙ
මේකි ගැන හිත වැටිල
කන්ද පාවුල ගෙදර
නිලුපුලුත් ගම ඇවිත්
ඉස්කෝලෙ නිවාඩුනෙ
මේ ටිකේ කුඹුරු වැඩ
සීදේවි කොළු පැටිය

ලයිට් නං නිවනවා
වැඩිය රෑ වෙන්ඩ පෙර
කොහොමටත් මම කැමති
ලාම්පුවෙ එළියටනෙ
දමයන්ති මගෙ කෙල්ල
ආව දවසක් දෙකක්
ටෙලිවිසන් බලන්නනෙ
ආසයි දන්නැද්ද
ඒත් මම දුන්නෙ නෑ
පැය බාගෙකට වඩා
මොකද ඕකට උණත්
ලයිටි බිල් නගිනවනෙ

මගෙ දරුව උනත් මම
හාමිනෙට කියන්නේ
ඒකි හරි කටකාරි
මොන නැකතකින් උපන්
එකියක්ද කියලා
මගෙන් මම අහගත්තු
ව‍ාර කොච්චර ඇද්ද

ගැමුණු හාමුලෑ දිහා
යන්න කිව් වෙලාවේ
පෑව ආඩම්බරේ නම්

ඒකිගේ කටින් කී
කතා ටික ඇහුව නං
හාමිනේ මගෙ මූණ
ඇහැ ගහන එකක් නෑ
පොඩි එකා නං ඔහේ
හන්දියේ කඩේමයි
බයිල කිය කියා පොඩි
ඩෝලෙකුත් ගහනවළු
තාම පොඩි එකා නොවැ

ඉතින් ලොකු හාමිනේ
දැන් ගොඩක් ලිව්ව නොවැ
අපි මෙහේ සනීපෙන්
හොඳින් කල් ගෙවනවා
වලව්වයි ගෙවත්තයි
අනික් හැම දෙයක්මයි
අපි හොඳින් බලන වග
හොයන වග දන්න‍වනෙ
හාමිනේ ඒව ගැන සංකාව ගන්නෙපා
නිවාඩුව පාඩුවේ හිතේ සතුටෙන් ‍ඉන්න
ගැමුණු හාමුත් නිතර
මට කතා කරනවා
දුක සැපත් අහනවා
හාමිනේටත් නිමල්
හාමුටත් නෝනටත්
දරු පැටව් දෙන්නටත්
පතමි සම්බුදු සරණ

මේ වගට
සදාලැදි

ඇගි නෝනාය.


(නිලුපුල්)

No comments:

Post a Comment