Tuesday, October 20, 2009

රන්කැටේ මගේම නාමල්....!

හරි නරක ළමයා ඔයා
බැළුවෙ නෑ නිකංවත්
ඇයි අනේ ඔච්චරම
බයද අපෙ තාත්තට

නිවාඩු දුන් ද‍වසෙ නම්
කිව්වෙ ලොකුවට කයිය
කාටවත් බය නැතිය
හිතුනොතින් එනවාය
රෑට අපෙ ගෙදරටත්

ආදරේටයි කිව්වෙ
නොරොක් කර ගන්නෙපා
හිත ඉතින් හොඳ ළමයො
දන්නවනෙ දමයන්ති
ඔයාගෙම මැණිකනේ

අම්මාට මහගෙදර
ලැබිල සින්නක්කරම
ලොකු හාමිනේලා
වැඩලා ඇමරිකාවේ
කුෂන් පුටු වල ඉන්නෙ
උඩ තියන් කකුල් දෙක
කුස්සියේ බංකුවේ
බැඳෙනවා මකුළු දැල්

ගෙදර එන්නෙවත් නෑ
ලොකු හාමිනේගෙන්
රජ අණක් ලැබුනාලු
සිකුරාද හවස නම්
තාත්තත් පරක්කුයි
රස්තියාදුවෙ යද්දි
ඔය ළමය ගම වටේ
හැන්දෑවෙ මේ පැත්ත
ටිකක් බලලා යන්න

හරිම පම්පෝරි දැන්
අම්මගේ කරච්චල්
ලියුමකුත් එව්වාලු
ලස්සණලු මුද්දරේ
පුසුඹයිලු කවරෙ හිට
අපේ ගෙදරත් ඉතින්
ඇමරිකන් වරුණෙමයි

අම්මටත් දැන් අපේ
එහෙ යන්න හිතිලා
කුස්සියේ වැඩ කරන
හැටි එහෙම අහලා
පොල්ගෑම් පිටි කෙටුම්
මිරිස් ඇඹරිලි නැහැලු
හැම දේම බෝතලෙන්
දාන්නට තියෙනවළු

පිඟන් හෝදන්නෙත් නෑළු
අත් දෙකෙන් අල්ලලා
රෙදි පෙරෙදි හෝදන්න
මෙහෙත් තියෙනවනෙ මැෂින්

ළමයි කිරි පාටයිලු
හැඩ වැඩලු ලස්සණලු
අපිට නම් බැරි වෙයිලු
යන්න ඒවල එහෙම
සවුදි යන උන් වගෙද
ඇමරික‍ාවට යන්ඩ
උගත්කම ඕනෙයිලු

මෙහෙට එන සුද්දො නම්
ටිකක් රතු පාටයිනෙ
හාමිනේ නාකි ඇස්
වලින්නේ බලන්නේ
ගන්නවැයි හරි හමන්
කණ්නාඩියක් වත්
කුණු කමට උන්දැගේ
අම්මාත් අපේ දැන්
ලොකු හාමිනේමයි
පය ගහන්නෙත් ටිකක්
ගම්බීර විදිහටයි
යතුරු ටික ඉණ ගහන්
තියන් නෑ බිම හේම
පිම්බුවට දැන් මෙහෙම
ආපුවම බලතෑකි
බහින හැටි ඔය හුලං

පින්තූරෙකුත් තිබුණ
නිමල් මහත්තයාගේ
ලොකු හාමු ‍වගේමයි
කිය කියා බල බලා
පුංචි කාලේ එයා
කරපු වැඩ කියනවා

වෙලාවකට මට
හිතට තරහයි දුකයි
මටයි මල්ලිටයි වඩා
අම්මටත් හරි ලොකුයි
මහගෙදර ඔය ළමයි

පුංචි කාලෙත් ඉතින්
අපිට ලුණු කැඳ තමයි
මහ ගෙදර අයට නම්
උයල දෙයි බත් මාළු
වෑංජන අච්චාරු

ළමයි ටික ලොකු වෙලා
ගියායින් පස්සෙ නම්
හාමිනේ තරමක් හොඳයි
කෑම වේලක් දෙකක්
දෙන්න හෙම ලෝබ නෑ

ඒ අස්සෙ තව එකක්
කොළඹ ඉන්නා පුතා
ගැමුණු මහත්තය අහ
මට එන්න කියලා
අම්මාට කියාලා

තාත්තා ගොරවලා
බැනලායි නැවතුනේ
අම්මගේ කට ටිකක්
ඒ ගෙදර වරුණෙ මයි
රට යන්නටත් ලැබෙයි
උඹ ගෙදර ඉන්නෙ දැන්
එනව‍ාද අහනවා
අස්ස කරත්තෙන් එකෙක්

මටත් තරහයි හොඳට
කෑ ගහල අඬාලා
කිව්ව මං පනිනවැයි
වෙල ගාව මහ ලිඳට
ආයෙ මට කි‍ව්වොතින්
ගෙවල් වල වාල් වැඩ

හිතට ගන්නෙපා වැඩිය
කිව්වට අම්මා ඔහොම
මට හරිම ආදරෙයි
අම්මටත් ඉකි ගැහුණ
මම එහෙම කිව්වාම

අනේ නාමල් ඔයා
කොහොම හරි කරල
විභාගෙට ලියන්නකො
දක්ෂයිනෙ ඔයා මට
වඩා පාඩම් වැඩට

කවද හරි ඔයා ලොකු
තනතුරක ඉන්නවා
දකින්නයි මට ඕන
මගෙ ළමය දමයන්ති
කියන දේ අහනවනෙ

ආයෙ මට කුසුම් ලගෙ
ගෙදර එන්නට වෙන්නෙ
පොලදාට එන සතියෙ
මටත් ලියුමක් ඕන
ඇ‍‍ෙ‍ඬයි මට එදා වගෙ
ආයෙමත් නොලිව්වොත්
ඔන්න අමතක නොකර
ලියනවනෙ මගෙ කොල්ල

ඔයාගෙම බාලොලි මල

සදා ආදර

දම්මි

1 comment:

  1. මේක පට්ට ලොකූ

    /බිඟුවා...!

    ReplyDelete