Saturday, September 4, 2010

දයාබර නිමල්

දයාබර නිමල්

මේ ලියුම කොහෙන් පටන් ගන්නද කියල
මට තේරුමක් නැහැ
කොහෙන් පටන් ගත්තත්
කොහොම ලිව්වත්
මගෙ හිතේ තියෙන
වේදනාව, පසුතැවිල්ල, කලකිරීම
විස්තර කරන්න බැහැ නිමල්

මුලින්ම නිමල්ගෙ දෙපතුල් අල්ලල
සමාව ඉල්ලනව
සමාව දෙන්න නොහැකියි මම උඹට කළ වැරැද්දට
නිමල්වගේ බෝසත් ගති තියෙන
කෙනෙකුට හැරෙන්න මේ වගේ දේකට
සමාව දෙන්න හැකි කෙනෙක් නැහැ
මට සමාවෙයන් නිමල්
අපේ යාළුකමේ නාමෙන්

මම දස දහස් වාරයක් ඇහුව මගෙන්ව
ඇයි මම ඒ වගේ වැරැද්දකට පෙලඹුනේ කියල
මම කොහොමද මගෙ හිතවත්ම, නිමල් වගේ
ගුණ යහපත් මනුස්සයෙකුට මේ විදිහෙ
ද්‍රෝහි වැඩක් කලේ කියල
නමුත් ඒකට මට පැහැදිලි උත්තරයක් නැහැ නිමල්

මාත් කුමුදුත් අපේ හැඟීම් වලට වහල් උනා
අපේ බුද්ධියට වඩා අපේ හැඟීම් බලවත් උනා
දුර්වල මොහොතක අපි පාපකාරීන් වුනා නිමල්
නිමල්ගෙ ලියුම කියෙව්වට පස්සෙ තමා
මට යථාර්තවාදීව හිතන්න පුළුවන් වුනේ
මෙච්චර දවස් මම හිටියෙ මගෙ
හැඟීම් වලට වහල් වෙලා
ඊට වඩා එහා දෙයක් හිතන්න
මට හිතක් ඔළුවක්
තිබ්බෙ නැහැ නිමල්

ඇත්තම කිව්වොත්
කුමුදුගෙ වෙනසක් තියෙනව
කියල මට තේරුණා
මම පිළිගන්නව
කුමුදු නිකම්ම ගෑණියක් නෙවෙයි
දරු සෙනෙහස දන්න අම්මෙක් බව
මම තනිකඩ නිසා
ගොඩක් ආත්මාර්ථකාමීව
හැසිරෙන්න ඇති නිමල්
ඒකයි මට හරි වැරැද්ද තේරුණේ නැත්තෙ
නිමල්ට රට යන්න ලැබුණ වෙලාවෙ
මම ඒ ගමනට තවත් උනන්දු කලේ
මගෙ යටි අදහස් ඉටු කර ගන්න වෙන්න ඕන
මට දැන් ඒ ගැන හිතනකොට
මහ විශාල කලකිරීමක් දැනෙන්නෙ

මම හිතුවෙ මගෙ සන්තෝසෙ ගැන විතරයි නිමල්
මම හිතුව කුමුදුටත් ඒ වගෙම සතුටක්
ලැබෙන්න ඇති කියල
ඒක සමහරවිට මගෙ වාසියට
මම හිතා ගන්න ඇති කියල
දැන් මට හිතෙනව
නිමල්ටත් වඩා චූටියන්ට කුමුදු ඕනෙ
ඒ අහිංසක දරුවන්ගෙ කුරුළු කූඩුවක්
කඩල මට කවදාවත් සතුටින් ඉන්න බැරිවෙයි
මේ ඔක්කොම මට හිතෙන්නෙ දැන්
නිමල්ගෙ ලියුම කියෙව්වට පස්සෙ
ඒ වෙනුවෙන් මම නිමල්ට සදහටම ණය ගැතියි
ඒ පාපයෙන් මාව මුදා ගන්න
උදව් කිරීම ගැන

නිමල් කිව්ව වගෙ මේ ගැන
මම කුමුදුට ලියන්නෙ නැහැ
තව ටිකක් හිතල
කුමුදුට කතා කරන්න තරම් ශක්තියක්
හිතට ආවම මම කෝල් කරන්නම්
ඒත් කුමුදුත් හිත හදා ගන්න
උත්සාහ කරන වෙලාවෙ
මම කතා කරන එකත්
වැරදියි වගෙ
සමහරවිට මම කතා නොකරම
ඉන්නත් පුළුවන්
කොහොමටත් මගෙ හිත
තාම අවුල් වෙලා තියෙන්නෙ
මම හැම දෙයක් ගැනම
හිතල සුදුසු දෙයක් කරන්නම්
මොනා උනත් නිමල්ලගෙ දරු පවුලට
මොන විදියකින්වත් මම අවැඩක්
තවත් නම් කරන්නෙ නැහැ කියල
දිවුරල පොරොන්දු වෙන්නම්

කුමුදු හරි වාසනාවන්තයි
නිමල් වගේ කෙනෙක් ලබාගන්න
නිමල්ගෙ දරුවන්ගෙ අම්ම වෙන්න
මට ලොකු සැනසිල්ලක්
නිමල් මේ ඔක්කොම
අමතක කරල දානව කිව්වම
නිමල් මේක මේ වගේ නැතුව
කුමුදු එක්ක ලොකු ආරවුලක් පටන් ගත්ත නම්
මගෙ හිත මට මේ වගේ
වෙනස් කරගන්නත් බැරිවෙනව
කුමුදු උනත් මගෙ කැමැත්තට
මා ලඟට එන්න හිතන්න තිබුණ
ඉතින් නිමල් බුද්ධිමත්ව හිතල
මේ වගේ මට ලිව්ව එක මම
හරියට අගය කරනව
පොඩි කාලෙ වගෙම තාමත් මට
නිමල්ගෙ මිතුරු කම ලොකු අත්වැලක්
නිමල් එදා ඉඳන් මට දුන්න අවවාද
උපදෙස් හරියට ඇහුවනම් මම අද
මීට වඩා උසස් තත්වයක ඉන්න තිබුණ
ඒ වගේ උතුම් කෙනෙකුට මම කරපු ද්‍රෝහිකමට
නිමල් මට සමාව ‍දුන්නත් මගෙ හිතෙන් මට
සමාව ලැබෙන එකක් නැහැ කවදාවත්

මම කුමුදු ගැන කාටවත් කියල නැහැ
නිමල්ගෙ පවුලට කැලලක් ඇති කරන්න
මම කවදාවත් හිතුවෙ නැහැ
මිස්ට වීරසිංහ නම් හිතවත් තමා
ඒ උණත් මම හිතුව මේ ගැන
තවත් කා එක්කවත් කතා කරන්නෙ නැහැ කියල
මම කොහොම හරි හිත හදා ගන්නම්
කාලයත් එක්ක හිතට නිදහසක්
හම්බ වෙයි කියල මම හිතනව
එතකල් මගෙ තනිකම පාළුව
වේදනාව මම විඳගන්නම්
ඒක මම කල වැරැද්දට
ලබන්න පුළුවන්
සුළු දඬුවමක් වේවි

නැවතත් නිමල්ගෙන් සමාව අයදිමින් නවතින්නම්.

නිමල්ටත් කුමුදුටත් දරු පැටවුන්ටත් තෙරුවන් සරණයි

රුක්ෂාන්

(විපුල)

2 comments:

  1. .
    මේක අපූර්වයි!ඔක්කොම කියවන්න ඕන .හදිස්සියෙ ආවෙමේ පැත්තෙ :).නිවාඩු පාඩුව ඔක්කොම කියවල කමෙන්ටු දමන්නම්.ඔබට දිගු ගමනකට ආසිරි!

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete