Sunday, May 30, 2010

හිතවත් රුක්ෂාන්

හිතවත් රුක්ෂාන්

හොඳට හෝ නරකට රුක්ෂාන්
ඔයා කුමුදුට එව්ව ලියුම
ලැබුණෙ මගෙ අතට
උත්තර පමා උනේ ඒකයි
ඊට හරි යන්න මම ටිකක්
දිගට ලියන්නම් රුක්ෂාන්
ඔයා කරුණාකරල
හදිසි තීරණ ගන්නෙ නැතිව
මුළු ලියුමම කියවන්න
වෙන මුකුත් නිසා නෙවි
අපි අතර තියෙන යාළුකම
සලකලා බලලා

විශ්වාස කරන්න බැරි වුනත්
වෙන්න බැරි දේකුත් නෙවි නිසා
මම හිතුව මේ කතාව
අපි දෙන්න බේර ගන්න එක
හොඳයි කියල කොහොමටත්
කියන එක කුමුදුට මේ ගැන
අහන එක එයාගෙන් මේ ගැන
තේරුමක් ඇති දෙයක් කියල
මම හිතන්නෙ නැහැ රුක්ෂාන්

ඔයා දන්න‍වනෙ මම
හදිසි කාරයෙක් නෙවෙන විත්තිය
අපි හුඟක් ලඟින් මිත්‍රකමට
හිටපු නිසා තමයි මටත් මේ තරමට
කලබල නොවී මේ ගැන
හිතන්නට පුළුවන්

අනික් අතට රුක්ෂාන් ඔයාට
වඩා හොඳින් මම දන්නව
කුමුදු හිතන පතන විදිහ
කුමුදුගෙ අම්මල තාත්තල
යම් දුරකට සංකර
නැත්නම් බටහිර පන්නෙ අය
කාලෙකට ඉස්සර ක්ලබ් එකේ
ඩාන්ස් කරල නෝනල මහත්තුරු
මාරු කරගෙන ගෙදර ගිය
ප්ලාන්ටර්ස්ලගෙ
පරපුරේ අය

කුමුදු හුඟක් වෙනස් උනත්
මම හිතන්නෙ මේ වගේ දේකට
පැටලුනේ එයාගෙ අර පසුබිම
නිසා වෙන්න ඕනි කියලයි
වැරදි වෙන්න පුළුවන් මම
සමහරවිට කුමුදුට ඔයාව
ඕනෙම වෙන්නත් ඇති
ඒත් මම හිතනව අපේ හිත්
හුඟක් දුරට හැඩ ගැහෙන්නෙ
ගෙවල් වලින් අපට ලැබෙන
ගති සිරිත් මතය කියල
එහෙම හිතුවාම රුක්ෂාන් මට
යම් විදිහකට මේ ‍වැඩේ
තේරුමක් දකින්නට පුළුවන්

සුලමුල නොදන්නවා උනත්
මට හිතා ගන්න පුළුවන්
වුනේ මොනවද කියල
හිතට දැනෙන අමුත්තක්
එදා නොපෙනුනත් මට
අද හිතන්නට පුළුවනි
හුඟක් දේවල් ඒ ඒ විදිහට
සිදු වුනේ ඇයි කියල
විශේෂයෙන් මට මෙහෙ එන්න
චාන්ස් එක ලැබුණහම
ඔයා ඒක ගැන කියපු
දේවලුත් හිතුවාම

රුක්ෂාන් ඔයා
ලියල තියෙන දේවලින්
මට හිතෙන්නේ කුමුදු දැන්
එයාගෙ හිත හදාගෙන කියල
ඔයා එක්ක තියෙන
සම්බන්දෙ නවතන්න

දවස් කීපයක් මම
හුඟක් විමසිල්ලෙන් හිටිය
මට හිතෙන්නෙ නැහැ රුක්ෂාන්
කුමුදු මම දාල ගියත්
චූටි අය දාල
එයාගෙ සතුට විතරක්
හොයයි කියල

රුක්ෂාන් ඔයාට තේරුම් ගන්න
අමාරු ඇති සමහරවිට
ගෑණියෙකුගෙයි අම්ම කෙනෙකුගෙයි
මොනතරම් වෙනසක් තියෙනවද
සමහර අය දරුවො ලැබුණත්
ඉන්නෙ හැමදාම ගෑණු වගේ
එහෙම අයට නම් මේ වගේ
සම්බන්ධකම් මහ දේවල් නෙවි

ඒත් කුමුදු අම්ම කෙනෙක් රුක්ෂාන්
එයා චූටියන් ගැන මිසක්
එයා ගැනවත් හිතන්නෙ නැති තරම්
ඉස්සර වගේ ඇඳුම් පැලඳුම්
සෙන්ට් පවුඩර් ගැන
කතා බහ දැන් නැති තරම්
වෙලාවකට හිතුවාම
ඒ දවස්වල ෂෝක් එක දාගෙන
ඔෆිස් ආපු කුමුදුද
හිතෙන තරමට එයාගෙ වැඩ වෙනස්

රුක්ෂාන් සමහරවිට කුමුදු
හිතලාම එයා ගැන අමතක
කරනවද කියාලත්
හිතෙනවා මට
මේ වැඩේ ගැන හිත් අමාරුවෙන්

මේ සේරම හිතල රුක්ෂාන්
මම හිතුවා ඔයාගෙන් ඉල්ලන්න
මේ ‍වැඩේ නවත්තලා දාන්න

නෑ රුක්ෂාන් මම කවදාවත්
කුමුදුට කිසිම විදිහකින්
කරන්නෙ නෑ වෙනසක්
ඒකම නිසා තමයි මම
මේ ගැන එයාගෙන් කිසිම දෙයක්
ඇහැව්වෙත් නැත්තෙ
මොකද එයා දැන ගත්තොත්
‍මම මේ ගැන දන්න බව
මම හිතන් නැහැ එයාට
පුළුවන් කියල එයාගෙ
හිත හදාගන්න කවදාවත්
මොන පසුබිමකින් ආවත් රුක්ෂාන්
කුමුදු කාටවත් හිතට දුකක්
දෙන්න කැමති කෙනෙක් නෙවෙයි
මම හිතන්නේ එයාගේ ඒ ගතිය
නිසාම තමයි මේ වගේ දේකට
සම්බන්ධ වෙන්නත් ඇත්තේ

මම හිතනවා රුක්ෂාන්
ඔයාට මේ කතාව මෙතනින්
නවත්තන්න පුළුවන් වේවි
යාළුවෙක් හැටියටත්
කුමුදුගෙත් චූටියන්ගෙත්
අනාගතේ ගැන හිතලා
ඔයා ඒ වැඩේ කරයි කියලා
හිතනවා මම

මුලින්ම මට මහ වේදනාවක්
දැනුනත් රුක්ෂාන් අද මේ මොහොතේ
මම ඉන්නෙ හුඟක් දේවල් දිහා
උපේක්ෂාවෙන් බලන්න පුළුවන් තත්ත්වයක

අපේ අම්මා හැමදාම හවසට
බණ පොත් පිරිත් පොත් කියවනවා
කලින් නම් ඒක මහ කරච්චලයක්
ඒත් පහුගිය දවස් කීපය මම
ඒ හැම සූත්‍රයකටම ගාතාවකටම
උවමනාවෙන් කන් දීගෙන හිටියා
හුඟක් එව්වාගෙ තේරුම් පැහැදිලිව
මතකයි මට තවම

රුක්ෂාන් ඔයා හිතල බලන්න
තව අවුරුදු විස්සකින් විතර
අපි මොන තත්ත්වයේ ඉඳීවිද
මේ හිත් කලබල වෙන ‍වැඩ
කොළු කාලෙ වැඩ
දැනටමත් අපට
නොගැලපෙන දේවල් නේද

ඔයා තවම බැඳල නැති නිසා
සමහරවිට මේ දේවල් ගැන
තාම සුළුවට හිතනවා
වෙන්න පුළුවන් උනත්
මට එහෙම හිතන්න බැහැ

ඉතින් රුක්ෂාන් ඔයා
මේ ලියුමට මට යමක්
ලියනවා නම් එවන්න
ඔෆිස් ඇඩ්රස් එකට
කුමුදු එක්ක ඔයාට
කතා කරල බේරගන්න ඕනි නම්
කෝල් කරන්න ගෙදරට
සතියෙ දවසක
මෙහෙ දවල් වරුවක
මම කැමතියි ඔයා රුක්ෂාන්
නොලියනවා නම්
ලියුම් කුමුදුට...
යමක් ලිව්වාම ඒක
වැරදි අතකට ගියොත්
ඕන නැති ප්‍රශ්න

රුක්ෂාන් එක අතකින් මට
දැනුනත් මා ගැන
අවාසනාවන්තයෙක් කියලා
ලංකාවෙදි වගේ
ගහ බැණ ගන්නෙ නැතුව
මේ විදිහට ඔයාට ලියන්න
පුළුවන් වීම සතුටක් මට
මම හිතන්නේ අපේ
අම්ම තාත්තා උනත් මේ වගේ
දේකදි කලබල නොවී
මේ විදිහටම වැඩ කරන අය
ඒ ගතිගුණ නිසා තමයි
මටත් මේ වගේ කල්පනාවෙන්
වැඩ කරන්නට පුළුවන්

මම හිතනවා ඔයා
ඔෆිස් එකේ අනෙක් අයට මේ ගැන
මුකුත් කියලා නැතිය කියලා
ඔයාට කතා කරන්නම
ඕනෙ නම් කා එක්ක හරි
මිස්ට ජයසේකර එක්ක
කතා කරන්න මේ ගැන
විශ්වාසයි ජයේ මට

ඉතින් මම නවතින්නම්

හිතවත්

නිමල්

No comments:

Post a Comment