Monday, May 3, 2010

මගෙම ආදර දම්මි

මගෙම ආදර දම්මි

ඔයාගෙ ලියුම
ගොඩක් සැරයක් කියෙව්වා මං
දැන් නං ගොඩක් දුරට කට පාඩනුත් වගේ

සොරි ළමයෝ
පොඩිත්තක් අහගන්නකො වෙච්චි දේ
ඊට පස්සෙ කියන්නකො
මම නරක ළමයා දැයි

මුචලින්ද නා රජුන්
මැණිකක් රකිනා සේ
තාත්ත ඔයා ළඟ උන්නෙ
මහ ගාම්බීර විලාසෙට

උඩු රැවුල කරකවල
අපේ කොළු රැළ දිහා
බලා උන් හැටි මතක් වෙනකොට
මේ දැනුත් මගෙ හිත ගැහෙනව
එහෙව් අස්සෙ කොහෙ බලන්නද
හිනා වෙන්නද ඔයත් එක්කල

බලද්දි මගෙ සුදු කෙල්ල දිහා
මගෙ ඇස් වල ගලන ප්‍රේමෙ
තාත්තටත් පෙනෙයි දෝ කියල
මටමත් හිතුනා සත්තයි!

අම්මගෙයි, මහ ගෙදරයි
විස්තරේ අපූරුයි
කොහොමටත්, අම්මට නං
දොසක් කියන්නට බෑ
අපෙ අම්මල ඔතෑනියි නෙ
හැමදාමත් ඒ වගේ

හුඟ කලක් එහෙ ගිහින්
අම්ම වැඩ කල නිසානෙ
සමහර දවස් වල
ඔයාටයි මල්ලිටයි
කන්න දෙයක් වත් ලැබුනෙ

ඒකෙ ගෞරවේ තියා ගන්නට
ලොකු හාමිනේට, පොඩි මැණිකෙලාට
අම්ම හැමදාම ණයයි කියල
අම්මට හරියට හිතෙනව ඇති

ඇමරිකාවෙ ඔය විස්තර
මටත් ටිකක් ආරංචියි
එහා ගමේ කන්දෙ ගෙදර
පොඩි අතුලත්, මේ ළඟකදි
ඇමරිකාවෙ ගිහිල්ලලු

ග්‍රීන් කාඩ් ලොතරැයියෙන්
අතුල ගිහිං ඉස්සෙල්ලා
ටික දොහකින්, දරු පවුලත්
ගෙන්න ගන්නලු ඉන්නෙ

ඒ උනත්, ඔය කොච්චර පම්පෝරි කියෙව්වත්
උදේ ඉඳන් රෑ වෙනකං, නිදි මරමර
හරිම දුකක් විඳිනවලු ඩොලර් හොයාගෙන
එහෙ ජීවිතේ ගෙනියන්නත්

ඒව අහල හිතල බැළුවම නං
මෙහෙ ජීවිතේ දහස් වාරයක්
හොඳයි කියල මට හිතෙනව

අම්ම ඉතිං ගොඩ කාලයක්
මහගෙදර පොඩි එවුන්
හදා වැඩුව හින්ද එයාලට ආදරේ ඇති
ඒ උනාට ඔය දෙන්නට තියෙන ආදරේ
අඩුවක් වෙනවැයි
ඔයාගෙ බොරු ඉරිසියාව!
ඔය තරමට හිතන්නෙපා
මොනා උනත්
ඔයාගෙ අම්ම ඔයාගෙ මයි

මගෙ අම්මෝ මේ මොකද්ද
ඔයා මෙහෙන් කොළඹ ගියොත්
මාත් එනව එහෙට යන්න
තාත්තත් අකමැති හින්ද
ඔයාව යවන එකක් නැහැ මගෙ හිතේ
ගැමුණු මහත්තය හොඳ උනාට
නෝන හරිම නපුරුයිලු

ඔයා කියන්නත් කලියෙන්
මාත් හිත හදාගත්ත
මේ සැරේ නං විභාගෙ කරන්න

හොඳ රස්සාවක් හොයන්
අශ්ව කරත්ත නැතත්
පොඩි කාර් කට්ටක්වත් අරං
ඔයාගෙ අම්ම තාත්තගෙන් අවසර ගන්න
මං එනව ඔය දිහා
ඉන් පස්සෙ මේ වගේ
හැංගි හොරා ඕන නෑනෙ
ඒක මගෙ බලාපොරොත්තු දාහකින්
මුල්ම එකක්
ඒ දවස වෙනතුරා
දුක ටිකක් ඉවසගෙන
මගෙ හිතට දිරිය දී
අත් වැලක් වී ඉන්න

මගෙම ආදර බාලොලි මල
ඔයයි මගෙ දිවි ගමන එළිය කරන
පහන් ටැඹ!

එන සතියෙ, කුසුම් ලෑ දිහාදි
හමු වෙමුකො එහෙනං
මං ආසම කහ මල් ගවුම
ඇඳං එන්න මතක් කරල

සදා ආදර
ඔයාගෙම නාමල්


(විපුල)

No comments:

Post a Comment