Saturday, May 8, 2010

මගේම සුවඳ සුවඳ සුවඳම නාමලට

මගේම සුවඳ සුවඳ සුවඳම නාමලට

අනේ මගේ පැටියෝ ඔයා නම් මගෙමයි
ඔයාගෙ ලියුම් දෙකම ලැබුණෙ අද
හරිම සුවඳයි එව්වා
මගේ අතත් එක්කම සුවඳයි දැන්
තවත් කෙල්ලෙක් එහෙමත් ඉන්නවද මන්දා
දෙන්න මේ තරම් සුවඳ ජාතී

කුසුම් දුන්නට ලියුම කුමාරිගෙ අම්මාට
අහුවෙන්න ගිහිල්ලා ඒකි ඒකත් අරන්
උන්ගෙ නැන්දලාගෙ අහ ගිහින්
අනේ පව් ඒකි නම් අපට හරි ආදරෙයි

සුසුදු පෙමට බාදා නම් ඇද්ද කොතරම්
මේ රුදුරු ලෝකේ නපුරු මිනිසුන්ගෙන්
ඒත් නාමල් මේ කෙල්ල දම්මී
ඔයාගෙමයි ඉතින් තියෙන තුරු ජීවිතේ
කපල දැම්මත් කෑලි හතකට

ඔයා අපෙ තාත්තා ගැන ලියපු දේ කියවද්දි
මතක් උනේ මට ඔන්න රන්කැටියෝ මගේ
ඔයත් රැවුලක් නම් වවන්නම ඕනි
දැක්කනේ තාත්තගේ අපෙ
තියෙන ලස්සණ උඩු රැවුලෙ
අපේ අම්මත් ඒ දවස්වල
රැවුලට තමයි තාත්තගේ
ඉඳලා තියෙන්නේ ආසාවේ

කවද හරි මමත් ආසා
ඔයත් ඒ වගේ රැවුලක් එක්ක
ඉන්නවා නම් උජාරු විදිහට
අපේ පොටෝ එකෙත් ඔන්න

ලියුමෙ මෙතන ඔන්න ඔයාට
X X X X X X X X X X
තිබ්බා ලොකුම ලොකු හාදු දහයක්
තීන්තත් වැදුනා මගේ නිකටේ
ඒක පැටියෝ ඔයා මේ කෙල්ලට
දුන්නු පොරොන්දුවටයි විභාගේ ගැන
මගෙ පුංචි රන් කැටියා
ලොකු මහත්තයෙක් වෙලා කවදා හරි
ඇමරිකාවෙත් යනවා මට සත්තයි
අතුලලාටත් පුළුවන්නම්
මොනව කිව්වත් අපේ අම්මා
නාමල් ඔයාටත් පුළුවනි යන්න
ඇමරිකාවටත් කවදහරි

එදා තාත්තා ගෝරනාඩු කලාට පස්සේ
ආයෙ නෑ ආවේ මහගෙදර අය නම්
වැඩට ගෙනියන්න කොළඹ ගෙද‍රට
රත්නපුර පැත්තේ සුනාමි ළමයෙක්ව
ගෙනිච්චලු ඒ ගෙදර, අම්මායි කිව්වේ
එයාට නම් තාමත් හිතට අඩුවක් වගෙයි
“ගෙදරටම ගෙන ආපු
ස්වීප් එක ගත්තෙ නෑ
උඹට කවදාක හරි
තේරේවි මෙව්වා”
කියල සැරයක් දෙකක්
දුන්නා පුංචි අ‍ඳෝනාවක්

හාමිනේටත් ඇතිවෙලා එනවාලු ආයෙමත්
ඒ නිසා මහගෙදර මකුළු දැල් කඩන්නයි
පුටු මේස හදන්නයි ඇඳන් පිහ දමන්නයි
මේ ටිකේ මමයි මල්ලියයි දෙන්නාම එහෙ ඉන්නෙ

කවුරුවත් නැති නිසා අපට හොඳ චාන්ස් එක
සින්දු හෙම අහනවා ටි වීත් බලනවා
ඔයාව නම් මට ඉතින් හැම තැනම පේනවා
ඒත් මක් කරන්නද අම්මාත් ඉන්නවා

කුමාරියා කිව්වා විපුලයා කියලා
ලියුම දුන්නේ කුසුමලාට
ඒවාගෙ අය අතේ බය නැද්ද මේ වගේ
එවන්නට රහස් දේවල්
කට කතා ගියොත් හෙම
ඔයාටත් හොඳම නෑ
මොකක් වෙද දන්නෙ නෑ
අ‍නික් එක මගෙ සුදෝ
ආස නෑ මේ දම්මි
මගෙ කොල්ල ලියන‍ දේ
බලනවට කවුරුවත්
ලෝබයිනෙ පැටියෝ ඔයා ලියන එව්වා
පෙන්නන්න කාටවත්

ලබන සතියේ විතර ආයෙ අපි
ගෙදර යයි හාමිනේ ආවාම
ඉවරයිනෙ සැප ඉතින්
කුෂන් පුටු වල විඳපු

මිනිත්තුවකින් විතර
ෂෝ එකක් යනවා ටීවී
රට කතාවක් ඒක නම්
බලන්නම ඕනෑ එකක්
ඒ නිසා නවත්තමි
ලියාල තව ටිකක්

මගෙ පුංචි ලේනා
පුංචි රන් කැටියා
ඔයාගේ ලියුම් මම කොට්ටෙ යට තිබ්බා
රෑට පුසුඹට දැනෙන්න නිදද්දී
ඔයත් මේ ලියුම අද
ඒ වගේ තියා ගන්න‍
මාව මතක් කරගන්න

නිදියද්දි හැමදාම
නවය මාරට විතර
දෙන්නාම අපි ඇඳන්වල
හිතමු එක එක්කෙනා ගැන

හෙනම් මගෙ පැටියෝ
ආයෙ මුණ ගැහෙන කල්
හාදුවක් මෙ එක්ක

කතිරයක් ගහපු තැන X

මං ඔයාගෙම ඔයාගෙම
කහපාටයි රතුපාටයි
බාලොලි මල

දම්මි

No comments:

Post a Comment